මුල් පි‍ටු‍ව arrow විශේෂාංග arrow Political arrow ජනපතිගේ ඉන්දීය නිල සංචාරය
Advertisement

ජනපතිගේ ඉන්දීය නිල සංචාරය Print E-mail
Thursday, 17 June 2010
Imageජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්දීය ජනාධිපතිනි ප්‍රතිභා ප‍ටෙල් මැතිණියගේ ආරාධනයක් මත පසුගිය 08වන දා ඉන්දියාව බලා පිටත්ව ගියේය. මෙම නිල සංචාරය සඳහා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය ඇතුළු ඇමැතිවරුන් කිහිප දෙනෙකු ද එක් වූහ. ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ඇතුළු පිරිස ඉන්දියාවේදී මහත් හරසරින් පිළිගනු ලැබූ අතර ජනාධිපතිතුමාගේ මෙම නිල සංචාරයේදී දෙරට අතර අතීතයේදී සිට පැවති මිත්‍රත්වය තව දුරටත් ශක්තිමත් විය.


ශ්‍රී ලංකා ජනාධිපතිතුමා 11වනදා දක්වා  ඉන්දියානු නිල සංචාරයක යෙදුණු අතර එහිදී ‍මෙරටට ආර්ථික වාසි රැසක් හිමිවිය. ‍ශ්‍රී ලංකා ජනාධිපතිතුමා වෙනුවෙන් රාෂ්ඨපති භවනේ 09 වන දින රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවති අතර එහි ගිය ජනධිපතිතුමා පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් සංවිධානය කර තිබිණි. ආචාර වෙඩි මුර 21ක් ද පැවැත් වූ අතර එම උත්සවයේ ඉතා ගාම්භීර ස්වරූපයක් විද්‍යාමාන විය.

ඉන්දීය - ශ්‍රී ලංකා ද්විපාර්ශවීය සබඳතා ලොවටම ආදර්ශයක් වන බව ඉන්දීය ජනාධිපතිනී ශ්‍රී ලංකා ජනාධිපතිතුමා හමුවේ ප්‍රකාශ ක‍ළාය.

ජනාධිපතිතුමා මෙම දිනම ඉන්දීයාවේ ශ්‍රේෂ්ඨ නායකයෙකු වූ මහත්මා  ගාන්ධිතුමාගේ ස්මාර්කය අභියසදී පුෂ‍්පෝහාර දැක්වීය. මෙම ස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ඇතුළු පිරිස පිළිගන්නා ලද්දේ මහත්මා ගාන්ධි භාරකාර මණ්ඩලයේ‍ ලේකම් Ragnish Kumar මහතා විසිනි. බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබාගැනීමේ අවිහිංසාවාදී ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වූයේ මහත්මා ගාන්ධිතුමාය.

Imageශ්‍රී ලංකා ජනාධිපතිතුමා හා ඉන්දීය අග්‍රමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා අතර නිල හමුවක් හයිද්‍රාබාද්හි පැවති අතර ද්විපාර්ශවීය සාකච්ඡාවක් ද විය. මෙරටට ආර්ථික, සමාජීය, නීතිමය, වනිතා කටයුතු, විදුලිබල හා ප්‍රවාහන යන ක්ෂේත්‍රයන්ට අදාළ ගිවිසුම් 07ක් අත්සන් කිරීම ද  ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ මෙම නිල සංචාරයේ දෙවන දිනයයේදී සිදු විය. එහිදී මෙම රාජ්‍ය නායකයන් දෙපල ඉදිරියේ ගිවිසුම් අත්සන් කෙරිණි. දෙරටටම පොදු වූ ශිෂ්ඨාචාරය, සංස්කෘතික උරුමය සහ දෙරටෙහි ජනතාව අතර පවත්නා අන්‍යෝන්‍ය සහසම්බන්ධතාව ද්විපාර්ශවීය මිත්‍රශීලී ශක්තිමත් පදනමකට හේතු වූ බව දෙපක්ෂයේම නායකයන්ගේ පිළිගැනීම විය. ඉන්දීය ශ්‍රී ලංකා සබඳතා, වෙළෙඳාම, සේවා සහ ආයෝජන, සංවර්ධන සහයෝගීතාව, විද්‍යා හා තාක්ෂණය, සංස්කෘතිය සහ අධ්‍යාපනය වැනි විවිධ කේෂ්ත්‍රයන් වර්තමානයේ වැඩිදියුණු වී සහ විවිධාංගිකරණය වී ඇති බව ද දෙරටේ ම නායකයන්ගේ අදහස විය. මිත්‍රශීලීබව, අන්‍යෝන්‍ය ගෞරවය සහ අවබෝධය ද්විපාර්ශවීය සාකච්ඡාවලදී කැපීපෙනුණු ලක්ෂණයක් ‍ලෙස දක්නට ලැබිණ.

ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිතුමා මෑත භාගයේ ලබාගත් මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් සිය සතුට පළ කළ අතර, 2009 මැයි මාසයේදී කොටි ත්‍රස්තවාදී ගැටුම් අවසන්වීම හේතුකොට ගෙන අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව සාර්ථකව ගැටළු විසඳා ගැනීමට අවස්ථාව විවෘතවූ අතර ජාතික සංහිඳියාවකට ද එය හේතු වූ බව ද ප්‍රකාශ කළේය.

සියලු ජන කොටස්වලට පිළිගත හැකි එසේම සැමට සාමකාමී වාතාවරණයක් යටතේ ජීවත් විය හැකි සාධාරණත්වය, ගෞරවය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ මානව හිමිකම්වලට ගරු කෙරෙන දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීමට තමා අපේක්ෂා කරගෙන සිටින බව ද මෙහිදී ශ්‍රී ලංකා ජනාධිපතිතුමා අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් අතර සාමය සහ සමගිය ගොඩනැගීම සඳහා ඉන්දියාවේ ප්‍රායෝගික සහයෝගය ලැබෙන බව ද ඉන්දීය අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

Imageමානව සමාජයේ යහපත, පුනරුත්ථාපනය සහ අවතැන් වූවන් යළි පදිංචි කරවීම යනාදිය සඳහා ඉන්දියානු රුපියල් කෝටි 500 ක ආධාර ඇතුළුව දෙන ලද සහාය වෙනුවෙන් ඉන්දීය රජයට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය ප්‍රසාදය පළ කළේය.

ආහාර මලු සහ ඇඳුම්, ඖෂධ වර්ග, ජංගම රෝහල්, කෘත්‍රිම අත් පා සහ කඳවරු පහසුකම් සැපයීමෙන් ඉන්දියාව ඉටු කළ මානුෂීය මෙහෙවර මෙන්ම ගොඩනැගිලි සඳහා ආවරණ, සිමෙන්ති, කෘෂිකාර්මික ආම්පන්න සැපයීමෙන් පමණක් නොව බිම්බෝම්බ ඉවත් කිරීමේ පිරිස් සැපයීමෙන්ද ඉන්දියාවෙන් ලද සහයෝගය වටිනා, අතිශය කාලෝචිත ක්‍රියාපිළිවෙළක් වූ බව ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ අදහසයි. කඩිනම් පුනරුත්ථාපනය ප්‍රතිනිර්මාණ කටයුතු උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සිදු කළ යුතු බව දෙපක්ෂයේම නායකයෝ පිළිගත්හ.

උතුරු නැගෙනහිර පළාත්වල අවතැන් වූවන් සඳහා නිවාස 50,000 ක් ගොඩනැගීමේ වැඩසටහනක් ආරම්භ කිරීම, මඩු - තලේමන්නාරම දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීමේ ගිවිසුම, මැදවච්චිය - මඩු දුම්රිය මාර්ග කොටස සඳහා වන ගිවිසුම කඩිනමින් අත්සන් කිරීම සිදු විය. ඕමන්තය - පලාලි දුම්රිය මාර්ග කොටස සම්බන්ධ ගිවිසුම දැනටමත් අත්සන් කර අවසන් කර තිබෙන අතර නව සංඥා ක්‍රමය, විදුලි සංදේශන පද්ධතිය සහ පලාලි කන්කසන්තුරේ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම ද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඉන්දීයාව ඒකාබද්ධව ඉතා කඩිනමින් නිම කෙරෙන බව ද එහිදී සාකච්ඡා විය.
ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවෙන් දෙන ලද සහනශීලී ඇමෙරිකන් ඩොලර් මිලියන 800ක ණය මුදලක් ද හිමි වූ අතර ඊට අමතරව උතුරේ භෞතික හා සංස්කෘතික කේෂ්ත්‍රයන්හි යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීමට ද, පලාලි ගුවන් තොටුපල සහ කන්කසන්තුරේ වරාය, දොරේඅප්පා ක්‍රීඩාගාරය ද ප්‍රතිසංස්කරණය කිරීමටත්, යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානයක් පිහිටුවීමටත් ඉන්දීය රජයේ සහයෝගය ලබා දෙන බව මෙහිදී තහවුරු වූ කරුණු අතර වේ.

ස්වයං රැකියා නියුක්ති කාන්තා සංගමය, යුද්ධයෙන් වැන්දඹු බවට පත් කාන්තාවන්ගේ ගැටළු විසඳීමට කටයුතු කිරීම, නායක කාන්තාවන්ට වෙළඳ පහසුකම් මධ්‍යස්ථානයක් සහ ප්‍රජා අධ්‍යාපන මධ්‍යස්ථානයක් මඩකලපුවේ පිහිටුවීමට අදාළ අවබෝධතා ගිවිසුමක් ද එහිදී අත්සන් කළේය. කොළඹ - මාතර දුම්රිය මාර්ගය ඉන්දීය ආධාර මත ඉදි කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

කුඩා කර්මාන්ත සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ අවබෝධතා ගිවිසුම ද එහිදී අත්සන් කළේය.
ආර්ථික ඒකාබද්ධතාවය, සංවර්ධන සහයෝගීතාවය වැනි කේෂ්ත්‍රයන් මඟින් ඉන්දීය ශ්‍රී ලංකා ද්විපාර්ශවීය සබදතා වැඩි දියුණු අපේක්ෂා කෙරෙන අතර  ඒකාබද්ධ කොමිසම යළි ක්‍රියාත්මක කිරීමටත් ඒකාබද්ධ කොමිසමේ ඊලඟ සැසිවාරය විදේශ කටයුතු අමාත්‍යවරුන් දෙපළගේ නායකත්වයෙන් 2010 දෙවන භාගයේ දී පැවැත්විය යුතු බවටත් නායකයින් දෙපොල එකඟ වූහ.

ආරක්ෂාව පිළිබඳ කරුණු පිළිබඳ සාකච්ඡා කළ අතර එහිලා උසස් මට්ටමේ හමුදා අංශ හුවමාරුව සහ යුධ සෙබළුන්ට පුහුණුව ද ඉන්දියානු ආයතනයන්හි නවක පොලිස් නිලධාරීන් සඳහා පුහුණුවක් ලබා දීමට ද එකඟගත්වයක් ඇති පළ විය. සෑම අන්දමකම ත්‍රස්තවාදී ක්‍රියා නායකයින් දෙපල විසින් හෙළා දකින ලදී.දෙරට අතර මිත්‍රත්වය පිළිබඳ ආරක්ෂාව සහ නීතිමය රාමුව ද වඩාත් ශක්තිමත් කළ යුතු බව ද නායකයින් දෙපළගේ අදහස විය.

අපරාධ පිළිබඳ අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතා සම්මුතිය සහ සිරකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුම ද එහිදී අත්සන් තබන ලදී.

ද්විපාර්ශවීය ආර්ථික සහයෝගීතාවය වඩාත් ශක්තිමත් කිරිම සඳහා සෑම අයුරින්ම සහය විය හැකි අනාගත ක්‍රමවේදයන් සම්පාදනය කිරීම සඳහා ප්‍රධාන විධායක නිලධාරීන්ගේ මඩුල්ලක් පත් කිරිම, ද්විපාර්ශවීය කෘෂිකාර්මික සහයෝගීතාවය, පශු සම්පත් සංවර්ධනය, දෙරටේම  කෘෂිකාර්මික පර්යේෂණ මණ්ඩල පිළිබඳ අවබෝධතාවයෙන් කටයුතු කිරීම පිළිබඳ අවධානය යොමු විය.

බලශක්ති කේෂ්ත්‍රය විෂයෙහිලා සහයෝගීතාවය තවදුරටත් වැඩි දියුණු කළ යුතු බවට ඔවුහු එකඟ වූහ. එහිලා රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සහයෝගීතාවය සම්බන්ධයෙන් ඔවුන් ප්‍රසාදය පළ කළ අතර, එය තවදුරටත් වර්ධනය විය යුතු බව ද ප්‍රකාශ කළේය.

ත්‍රිකුණාමලයේ සාම්පූර්හි මෙගාවොට් 500ක ධාරිතාවක් සහිත ගල් අඟුරු තාප බලාගාරයක් ඉදිකිරිම සඳහා ඉන්දීය ජාතික බලශක්ති සංස්ථාව සහ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ඇතිකිරීම පිළිබඳව නායකයින් දෙපල එහිදී දැනුවත් කරනු ලැබීය.

එම ව්‍යාපෘතිය කඩිනම් කිරීමට අවශ්‍ය බැවින් ඒකාබද්ධ ව්‍යාපෘතිය සම්බන්ධ ගිවිසුම පිළිබඳව සාකච්ඡා කඩිනම් කිරීමට අදාළ පක්ෂ එකඟ වී ඇත. විදුලි බලය මිලදී ගැනීමේ ගිවිසුම, ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම යනාදිය පිළිබඳ සාකච්ඡා මාස 03 ක් ඇතුළත නිම කිරීමට අදාළ පක්ෂ එකඟ වී ඇත.

ඉන්දියාවෙන් සපයන ලද ඇ.ඩො. මිලියන 200 ක අනුග්‍රාහක ණය මුදල සම්බන්ධයෙන් මෙහිදී ශ්‍රී ලංකාව සිය සතුට පළ කළේය. සාම්පූර් ජැටිය සහ සාම්පූර් සිට හබරණ තෙක් වූ සම්ප්‍රේෂණයට අදාළ කටයුතු කඩිනම් කිරීම සඳහා එමඟින් ශ්‍රී ලංකාවට හැකියාවට ලැබෙනු ඇත.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විදුලිබල පද්ධතියට අදාළ සහසම්බන්ධතාවය පිළිබඳව ශක්‍යතාවය අධ්‍යයනය කරනු සඳහා ගිවිසුමක් ද මේ අවස්ථාවේදී අත්සන් කළේය. බලශක්ති අංශයෙන් දෙරට අතර සහයෝගීතාවය වැඩි දියුණු කිරීමට එම ගිවිසුම සාධකයක් වෙනු ඇති බවට දෙරටේම නායකයෝ විශ්වාසය පළ කළහ.

දෙරට අතර සාම්ප්‍රදායික සම්බන්ධතාවය වහ වහා යළිත් ගොඩනැගීමේ අවශ්‍යතාවය නායකයින් දෙපලම පිළිගත් අතර ඒ සඳහා කොළඹ සහ තූත්තුකුඩිය අතරත් තලෙයිමන්නාරම සහ රාමේෂ්වරන් අතරත්, මගී යාත්‍රා සේවා ආරම්භ කිරීමට ද එකඟ වූහ. ඉතා ඉක්මණින් එම සේවා ඇරඹීමට කටයුතු යොදන ලෙස දෙපක්ෂයේ ම නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

දෙරට අතර මිත්‍රශීලී බව වර්ධනය කරනු සඳහා ඉන්දියානු කොන්සියුලේට් ජනරාල් කාර්යාල යාපනයේ සහ හම්බන්තොට පිහිටුවිමට ද නායකයින් දෙපල එකඟ වූහ. නව දිල්ලියේ මහ කොමසාරිස් යටතේ චෙන්නායි සහ මුම්බායි හි පිහිටි තානාපති කාර්යාලවලට අමතරව ඉන්දියාවේ තවත් එවන් ස්ථානයක තානාපති කාර්යාලයක් පිහිටුවිමට ශ්‍රී ලංකාව දක්වන උනන්දුව ඉන්දීය ජනාධිපතිවරයාගේ පැසසුමට ලක් විය.

ධීවර කර්මාන්තය සඳහා වූ 2008 ඔක්තෝබර් මාසයේ ප්‍රකාශනයට අනුව දෙරටෙහි ධීවරයන් ජාත්‍යන්තර මුහුදු සීමාව ඉක්මවා යාම වැනි සුළු වැරදි පිළිබඳ සිද්ධීන් අවම වීම පිළිබඳව ඉන්දීය අගමැතිතුමා සහ ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ස්වකීය සතුට පළ කළෝය.

ධීවරයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ විධිවිධාන තවදුරටත් සොයා බැලීමට දෙපක්ෂය ම එකඟ වූහ. ඒ සඳහා ධීවර කර්මාන්තය පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ නිලධාරී රැස්විම් යලි පැවැත්විමට ද දෙපක්ෂයේම ධීවරයින්ගේ සමිති අතර සම්බන්ධතාවය වැඩි දියුණු කිරීමට ද තීරණය විය.

ඉන්දීය ශ්‍රී ලංකා මුහුදු සීමාව මධ්‍ය කර ගනිමින් ඉන්ධන සහ ගෑස් නිධි පිළිබඳ ඉදිරි පියවර නිර්දේශ කිරීම සඳහා සාකච්ඡා පැවැත්විමටත් නිර්දේශ කරන බව ඉන්දිය අගමැතිවරයා සහතික කර තිබේ. 2010-2013 කාල පරිච්ඡේදය සඳහා සංස්කෘතික සහයෝගීතා වැඩසටහනක් මෙහිදී අත්සන් කළේය. දෙරටට පොදු සංස්කෘතියක් ගොඩනැගීමෙහිලා ඉවහල් වූ බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වීමේ 2006 සම්බුද්ධ ජයන්තිය දෙරට ඒකාබද්ධව පැවැත්විය යුතු බවට ද දෙරටේ එකඟත්වය ඇති විය. ජාත්‍යන්තර බෞද්ධ සමුළුව මෙම වසරේ අගභාගයේ දී මහනුවර දී පැවැත්වීමට නියමිතය.පුරාවිද්‍යා සමීක්ෂණ ආදිය පිළිබඳ දෙරට නායකයින් අතර සාකච්ඡාවකට ලක් විය.

දෙරට ආර්ථික, සමාජීය  ප්‍රගතිය‍ට බලපාන අධ්‍යාපන අංශය වැඩි දියුණු කළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රී ලංකා දැනුම් ආයතනයක් ආරම්භ කිරීම සුදුසු බවත් පිළිගැනිණ. මේ අනුව දෙරටේ අධ්‍යපනය සම්බන්ධයෙයන් කරුණු කිහිපයක්ම සාකච්ඡාවට භාජනය විය.

ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරෙනු ලබන ශිෂ්‍යත්ව සංබ්‍යාව වැඩි කිරීම, නව ශිෂ්‍යත්ව ක්‍රම හඳුන්වා දීම, උතුරු නැගෙනහිර ප්‍රදේශ සහ කඳුකර ප්‍රදේශය ද ඇතුළුව රට පුරා අවශ්‍යතා සපුරාලීමේ වැඩපිළිවෙළක් ඉන්දියාව ප්‍රකාශයට පත් කර ඇත. දෙරටෙහි විශ්ව විද්‍යාල අධ්‍යයන ආයතනයන්, 2020 වසර වන විට ත්‍රෛ භාෂාමය සමාජයක් ගොඩනැගීම, ප්‍රදේශයේ කෘෂි කාර්මික පර්යේෂණායතනයක් ස්ථාපිත කිරීම, ඉන්දියානු චන්ද්‍රිකා උපයෝගිකොට ගනිමින් අභ්‍යාවකාශ තාක්ෂණය විවිධ සමාජ සේවා සඳහා යොදා ගැනීම, සංචාරක සේවාව. 16 වන තිම්පු සාක් සමුළුවේ තිම්පු රජත ජයන්ති ප්‍රකාශනයෙහි දර්ශනය ක්‍රියාත්මක කිරීමට යානාදිය පිළිබඳ මෙම නිල සංචාරයේදී සාකච්ඡාවට ලක් වී තිබෙන අතර එම වැඩසටහන් සඳහා දෙරටේ ම එකඟත්වය පළ වී තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ ඉන්දීය සංචාරය ඉමහත් ඵලදායි බවට දෙපක්ෂයේම නායකයෝ පිළිගත් අතර එය මෙරට අනාගත සංවර්ධන වැඩපිළිවෙළට මහත් ශක්තියක් වේ. ඉන්දීය ජනාධිපතනියටත් එරට අග්‍රාමාත්‍යවරයාටත් නුදුරු අනාගතයේදිම ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිතුමා කළ ආරාධනය එම දෙපළ විසින් පිළිගෙන තිබේ.

 
ඉන්දීය මුදල් අමාත්‍ය ශ්‍රී ප්‍රනාබ් මුබර්ජි, විදේශ කටයුතු අමාත්‍ය ශ්‍රී එස්.එම්. ක්‍රිෂ්ණා, විරුද්ධ පක්ෂයේ නායිකා ශ්‍රී සුෂ්මා ස්වරාජ් සහ ඉන්දීය එක්සත් ප්‍රගතිශීලී සන්ධානයේ සභාපතිනී සෝනියා ගාන්ධි මැතිණිය ද එහිදී ජනාධිපතිතුමා හමුවූහ.

තමිල්නාඩු ද්‍රවිඩ මන්ත්‍රීවරුන් පිරිසක් හා ජනාධිපතිතුමාට මෙම නිල සංචාරයේදී හමු වූ  අතර මෙරට උතුරේ ජනතාවගේ ජන ජීවිතය නඟා සිටුවීම ලබා දිය හැකි සහාය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සියලු ම ජනතාව තමාගේ බවයි. උතු‍රේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති කෙටි හා දිගුකාලීන වැඩපිළිවෙළ සියසින් දැක බලා ගැනීමට මෙරටට පැමිණෙන ලෙස ජනාධිපතිතුමා මෙම තමිල්නාඩු ද්‍රවිඩ මන්ත්‍රී පිරිසට ඇරයුම් කළේය.

ඒ අනුව ජනාධිපතිතුමා මහින්ද චින්තනය ඉදිරි දැක්ම තුළින් මෙරට ක්‍රියාත්මක කෙරෙන  ආර්ථික සාමාජීය දේශපාලනික හා සංස්කෘතික දැවැන්ත වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා අසල්වැසි රට වන ඉන්දීය සහය වැදගත් වන බව පෙන්වා දිය හැකිය.

Image


සටහන - ප්‍රදීපා දිසානායක                                     
    

                                    
               

 
 
The Official News Portal of Sri Lanka-EnglishThe Official News Portal of Sri Lanka-SinhalaThe Official News Portal of Sri Lanka-Tamil 
http://www.news.lk/images/stories/Multimedia_Gallery/Photo_Gallery/lankapuvath.gif