මුල් පි‍ටු‍ව arrow විශේෂාංග arrow Political arrow ශ්‍රී ලංකාවේ පුවත්පත්.....
Advertisement

ශ්‍රී ලංකාවේ පුවත්පත්..... Print E-mail
Friday, 09 July 2010
Imageශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව වඩාත් උසස් වෘත්තියක් බවට පත්කළ යුතුයි

ශ්‍රී ලං‍කාවේ පුවත්පත් මණ්ඩලය සහ එහි කාර්යභාරය ගැන එහි නව සභාපති ජනාධිපති නිතීඥ ඩබ්ලිව්. දයාරත්න මහතා සමඟ කෙරුණු සංවාදයකි.





පුවත්පත් කලාව ගැන ඔබතුමාගේ අදහස කුමක්ද?


ශ්‍රී ලං‍කාවේ පුවත්පත් කලාව වඩාත් උසස් වෘත්තියක් බවට පත් කොට පුවත්පත් නිදහස සුරක්ෂිත කිරීම තුළින් සියලු දෙනාටම යහපත්  මාධ්‍ය සංස්කෘතියක් බිහි වෙනවා. යහපත් සමාජයක් සඳහා මාධ්‍ය දායකත්වය ඉතා වැදගත්. නවීකරණය වන සාමජයත් සමඟ මාධ්‍ය වගකීම හා එහි කාර්ය භාර්යේ වගකීම වැඩිවෙමින් පවතිනවා. ඒ අනුව ශ්‍රී ලංකා පුවත් මණ්ඩලය සක්‍රිය වීමත් සමඟ ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා නව සභාපතිවරයෙකුගෙන් යුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් මේ වන විට පත් කර තිබෙනවා. මා එහි සභාපතීත්වය දරනවා. සමාජ අවශ්‍යතා මනාව අවබෝධ කරගනිමින් පුවත්පත් නිදහස ජාතික සංවර්ධනය වෙනුවෙන් දායක කර ගැනීම අපගේ අභිලාෂයයි. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සේවාව පේදුරු තුඩුවේ සිටි දෙවුන්දර තුඩුව දක්වා ක්‍රියාත්මක කිරීම සඳහා වඩාත් අවධානයෙන් යුතුව කටයුතු ආරම්භ කර තිබෙනවා.
 
ඔබතුමාගේ ජනාධිපති නීතිඥ ධූරය දක්වා පැමිණි ගමනේ තොරතුරු කෙසේද?

Imageඋපන් ගම තිස්සමහාරාමය. තිස්සමහාරාම දෙබරවැව මහ විද්‍යාලය, බණ්ඩාරවෙල ශාන්ත ජෝසප් විද්‍යාලය හා කොළඹ ඇක්වයිනාස් විද්‍යාලය යන විද්‍යාලවල අධ්‍යාපන කටයුතු සිදු කළා.1974 දී නීති විද්‍යාලයට ඇතුළත්ව 1978 වසරේදී නිතීඥවරයෙකු ලෙස ‍දිවුරුම් දුන්නා. ඊට පෙර වසර 2ක් පමණ ගණිත ගුරුවරයෙකු ලෙස සේවය කර තිබෙනවා. නැසීගිය ජනාධිපති නීතිඥ තිවංක වික්‍රමසිංහ සහ නිතීඥ සරත් විරේසිංහ යන නීතිඥවරුන් යටතේ කනිෂ්ඨ නිතීඥවරයෙකු වශයෙන් කටයුතු කළා. මා යටතේ මේ වන විට කනිෂ්ඨ නිතීඥවරුන් 400ක් පමණ පුහුණු ලබා තිබෙන අතර තිදෙනෙක් වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. තවත් කිහිප දෙනෙක් විනිශ්චකාරවරුන් බවට පත් වී සිටිනවා. තවත් අය ‍ජ්‍යෙෂ්ඨ නිතීඥයන්. ශ්‍රී ලංකා නිතිඥ සංගමේ පළමු කමිටු සමාජිකයෙක් බවට පත් වූ අතර පසුව එහි ලේකම්, උප සභාපති, සභාපතිවරයා වශයෙන් කටයුතු කළා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වසර 15ක් පමණ කාලයක සිට විධායක කමිටුවේ සිටිනවා. මෙම සංග‍මයේ වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ලේකම් ධූරයට පත් වූ එකම ලේකම්වරයා බවට පත් වීමට හැකි උනා. මීට අමතරව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ LLB උපාධිය සහ එක්සත් රාජධානියේ වේල්ස් විශ්වවිද්‍යාලයේ LLM උපාධිය ලබා ගැනීමට හැකි උනා. ජනාධිපති නිතිඥවරයෙකු වශයෙන් 2010 වසරේ මැයි මාසයේ පත්වීම් ලැබුවා. මේ වන විට ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මා පත් කරනු ලැබ තිබෙනවා.

වර්තමාන පුවත්පත් මණ්ඩයේ තත්ත්වය කෙසේ ද?

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මේ වන විට සක්‍රිය මට්ටමකට පත් වී තිබෙන අතර ඕනෑම අයෙකුට  පත්‍රකලාවේදී සිදු වන්නා වූ ගැටළුවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වී තිබෙනවා. එසේම මාධ්‍ය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර එම වැඩසටහන් ඉතාමත් ගුණාත්මකව දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙනවා. මූල්‍ය හා මානව සම්පත් ධානාත්මකව යොදා ගැනීම සිදු වන බව සඳහන් කරන්න පුළුවන්.

පුවත්පත් මණ්ලයේ අරමුණ කුමක්ද?


ආර්ථික, සමාජීය හා දේශපාලනික ක්ෂේත්‍රවල අවබෝධය වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කිරීම මෙම මණ්ඩලයේ අරමුණ වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ පුවත්පත් නිදහස සහ එහි ස්වරූපය උසස් වෘත්තිය තත්ත්වයක් ඉලක්ක කොට වර්ධනය කිරීම සත්‍ය ප්‍රවෘත්ති සහ ඒවා සත්‍ය පදනම් කරගත් අදහස් පළ කිරීමේ නිදහස සුරක්ෂිත කිරීමත් සිදු වෙනවා. එසේම පුවත්පත් කලාවේදීන් මාධ්‍ය සදාචාරයට අනුකූලව අචාර ධර්ම පවත්වාගෙන යාම උදෙසා උනන්දු කරවීම සහ පුරවැසි අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳ පුරෝගාමී ආයතන තුළ සංවේදී බවක් ඇති කිරීම මෙම පුවත්පත් මණ්ඩලයේ අරමුණු ලෙස පෙන්වා දිය හැකියි.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ආරම්භය කෙසේ සිදු වී තිබේද?


Image1973 මාර්තු 26 දින අංක 52(3) දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද පුවත්පත් හා ගුවන්විදුලි අමාත්‍යවරයාගේ ආඥාවක් අනුව 1973 අංක 5 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත බලගන්වා තිබෙනවා. පසුව 1981 ඔක්තෝම්බර්  මස 14 වන දින අංක 162/51 යටතේ අති විශේෂ ගැසට් නිවේදනය මඟින් පත්‍රකලාවේදීන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක් රීති වශයෙන් හඳුන්වා දී තිබෙනවා.

කුමන ආකාරයේ වගකීමක් මෙම මණ්ඩලය වෙත පැවරී තිබේද?

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ වගකීම ප්‍රධාන ව‍ශයෙන් කොටස් කිහිපයක් යට‍‍තේ දැක්වීමට පුළුවන්. ඒ අනුව නෛතිකව  පුවත්පත් ලියාපදිංචි කිරීමේ සිට ඒවායේ පළ කෙරෙන ප්‍රවෘත්ති හේතුවෙන් ඉදිරිපත් වන පැමිණිලි විභාග කර  තීරණ ලබා ගැනීම සිදු වෙනවා. එසේම පුවත්පත් කලාවේ අභිවෘද්ධිය සහ ජාතික සංවර්ධණයට එහි දායකත්වය ලබා ගැනීම සඳහා පුවත් කලාවේදීන්, පාර්ශවකරුවන්, වාර්තාකරුවන්, හා ශිෂ්‍යයන් යනාදී ඉලක්ක කණ්ඩායම් දැනුවත් කිරීම සිදු වන අතර ඒ දැනුම ප්‍රචලිත කිරීම කරනවා. ඒ සඳහා පුවත්පත් මණ්ඩල පනතේ 8 වැනි වගන්තිය යටතේ මාර්ගෝපදේශකත්වය ලබාදී තිබෙනවා. අදාළ ක්ෂේත්‍රවල පර්යේෂණ කටයුතු කිරීම,  පුවත්පත් කලාවේ පැවැත්ම සඳහා රජයට‍ උපදෙස් ලබාදීම හා සම්බන්ධ විධිවිධාන එහි දක්වා තිබෙනවා.

මෙම මණ්ලයේ වැඩිදියුණුව පිළිබඳ කුමන ආකා‍රයේ ‍ඉදිරි දැක්මක්ද තිබෙන්නේ?

1974 සිට පැවති මේ දක්වා කාලය තුළ 2001 සිට 2004 දක්වා කාලයේදී ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ යම්කිසි අක්‍රිය තත්ත්වයක් පැවතුණ ද මේ රටේ ත්‍රස්තවාදය අවසන් වීමත් සමඟ එනම් ගිය වසරේ මැයි මාසයේ සිට යළි සක්‍රිය තත්ත්වයට පත්වුණා. මේ වන විට පවතින අඩුපාඩු  සකස් කර ගනිමින් මෙම මණ්ඩලය මඟින් සිදු කරන කාර්ය ඉහළ මට්ටමකට ගෙන ඒමට කටයුතු කරනවා. ඒ සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර රටපුරා එම වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. මෙහි පවතින දුර්වලතා සැලකිල්ලට ගනිමින් ඉදිරි දැක්මට ගැළපෙන අයුරින් කටයුතු කිරීමේ හැකියාව මේ වන විට මෙම මණ්ඩලයට ලැබී තිබෙන අතර මෙහි කාර්යක්ෂමතාව වැඩිදියුණු කර වඩාත් යෝග්‍ය යහපාලනයක් ඇති කිරීම රජයේ වගකීම වෙනවා. ඒ අනුව පුවත්පත් මාධ්‍ය යහපත් අයුරින් දිරි ගැන්වීමේ වගකීම ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය වෙත පැවරෙනවා. ජාතික සංවර්ධනය සඳහා වඩාත් ඥාණාන්විත පුවත්පත් කලාවක් නිර්මාණය කිරීමේ බපෑම් එල්ලවීමට පුළුවන්. ඒ කෙසේ වෙතත් මාධ්‍ය දිනෙන් දින දියුණු වෙමින් පවතින අතර ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සතු නෛතික පදනම මත අභියෝගවලට මුහුණ දීමේ හැකියාව ද පවතිනවා.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් මොනවාද?

2010 සිට 2014 දක්වා වන වැඩ සැලැස්මක් මේ වන විට සකස් කර තිබෙනවා. ඒ අනුව වෘත්තීය මාධ්‍යවේදීන් සඳහා ඉංග්‍රීසි භාෂාව පිළිබඳ සතියක වැඩමුළුවක් පැවත්වීමට යෝජනා කර තිබෙනවා. දීප ව්‍යාප්තව පවතින මාධ්‍ය සංවිධාන ලියාපදිංචි කර සන්නිවේදන වැඩමුළු පැවැත්වීම, පාසල් මාධ්‍ය සංවිධාන සඳහා සන්නිවේදන පාඨමාලා පැවැත්වීම සිදු කෙරෙනවා. ප්‍රාදේශීය ගුවන්විදුලි නාලිකා පිළිබඳ පර්යේෂණ පවත්වා ඒවායේ දුර්වලතාවයන් පිළිබඳ එම මාධ්‍ය ආයතන දැනුවත් කිරීමට අපේක්ෂා කරනවා.

එසේම පුවත් පත් ලියාපදිංචි කිරීම වාර්ෂිකව සිදු කෙරෙන අතර නව මාධ්‍ය සංවිධාන ද ලියාපදිංචි කිරීම සිදු වෙනවා. නව මාධ්‍ය සංවිධාන, වෘත්තීය මාධ්‍ය සංවිධාන, දිස්ත්‍රික් මට්ටමේ, පාසල් මට්ටමේ හා වෙනත් මාධ්‍ය සංවිධාන මෙහිදී ලියාපදිංචි කර ඔවුන් දැනුවත් කිරීම හා ශක්තිමත් කිරීම සිදු වෙනවා. එක් එක් මට්ටමේ කණ්ඩායම් සඳහා වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවත්වීම සිදු වන අතර මෙහිදී වෘත්තීය මාධ්‍යවේදීන්, දිස්ත්‍රික් මාධ්‍යවේදීන්, පාසල් සන්නිවේදන, බාහිර ආයතන, අමාත්‍යාංශ මාධ්‍ය ඒකක, ගුරු පුහුණු හා වෙනත් කාලීන යනාදී වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වෙනවා.

මාධ්‍ය වෘත්තිකයන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහාත් ඔවුන්ගේ වෘත්තීය අධ්‍යාපනය දිරි ගැන්වීම සඳහාත් සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ වසරක ඩිප්ලෝමා පාඨමාලාවක් පැවැත්වීමට කටයුතු සැලසුම් කරනවා. වඩා ගුණාත්මක මාධ්‍ය සංස්කෘතියක් වෙත මාධ්‍ය හා සැබැඳි සියලු දෙනා යොමු කිරීමේ අපේක්ෂාවෙන් මෙවැනි වැඩසටහන් ආරම්භ කිරීමට නියමිතයි. මාධ්‍යවේදීන්, විශ්වවිද්‍යාල හා පාසල් සිසුන් සහ සන්නිවේදන විෂය පිළිබඳ උනන්දුවක් දක්වන පාඨකයන්ගේ දැනුම සහ කුසලතා වර්ධනය කිරීම පිණිස විෂයානුබද්ධ ප්‍රකාශයන් නිකුත් කිරීම නව වැඩපිළිවෙළ යට‍තේ වාර්ෂිකව සිදු වෙනවා.
පුවත්පත් සම්මාන උළෙලක් පැවැත්වීම තුළින් පුවත්පත් කලාවේ දක්ෂතා දක්වන මාධ්‍යවේදීන් හඳුනාගැනීම, ඔවුන් දිරිගැන්වීම  හා ඇගයීමට ලක් කිරීම සිදු කෙරෙනවා. මේ අනුව පුවත්පත් කලාව වෙනුවෙන් ගුණාත්මක මෙන්ම ජාතික වශයෙන් වැදගත් වන වැඩපිළිවෙළක් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.

 

සටහන - ප්‍රදීපා දිසානායක                    

Last Updated ( Friday, 09 July 2010 )
 
 
The Official News Portal of Sri Lanka-EnglishThe Official News Portal of Sri Lanka-SinhalaThe Official News Portal of Sri Lanka-Tamil 
http://www.news.lk/images/stories/Multimedia_Gallery/Photo_Gallery/lankapuvath.gif